ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල (කෘෂි අධ්‍යාපනයේ පුරෝගාමියා)

Written by on May 2, 2018

ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලීය 2013 – 2015 අධ්‍යන වර්ෂවල අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා වූ ඩිප්ලෝමා ප්‍රදානය පසුගියදා කුණ්ඩසාල ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේදී පැවැත්වුණා. ඉහත වර්ෂවලට වඩා මෙවර ඩිප්ලෝමා සහතිකපත් ප්‍රදානයේදී විශේෂතා කිහිපයක්ම දක්නට ලැබුණා.

කෘෂිකර්ම අමාත්‍යතුමා, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිතුමිය, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලයේද සහභාගීත්වයෙන් පැවැති ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය මෙවර පළමු වතාවට කුණ්ඩසාල කෘෂිකර්ම විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වීම ඉතා සුවිශේෂී කරුණක් වන්නේ මින් පෙර කිසිදු අවස්ථාවක කෘෂිකර්ම විද්‍යාලයකදී ඩිප්ලෝමා ප්‍රදානය කිරිමේ උත්සවයක් නොපැවති බැවින්. එසේම මෙම කෘෂිකර්ම නිෂ්පාදනය හා තාක්ෂණය පිළිබද පිළිගත් ඩිප්ලෝමා මට්ටම ලබා දුන් පසු උසස් ජාතික ඩිප්ලෝමා සහතිකපත් ලබා ගත් පළමු ශිෂ්‍ය කණ්ඩායම බවට ඔවුන් ඉතිහාසයට එක් වුණා. එමෙන්ම නව පුස්තකාලයක්, පරිගනක විද්‍යාගාරයක් ඇතුලු සිසුන් සදහා වන පහසුකම් රැසකින් සමන්විත මිලියන 65ක ප්‍රතිපාදන යටතේ ඉදි කල නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමද මෙහි සුවි‍ශේෂී අවස්ථාවක් වුණා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම විද්‍යාලයක් ලෙසින් ගත් කල මෙය ඉතා සුවිශේෂී විශාල ඉදිරි පියවරක් ලෙස ඉතිහාසයට එක්වී අවසන්. නමුත්, මෙම ලිපියෙන් අප බලාපොරොත්තු වන්නේ දිර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන කෘෂිකර්ම විද්‍යාලීය ඉතිහාසයේ පළමු පියවර පිළිබදව තොරතුරු සොයා බැලීමයි.

මේ සදහා අපට සියවසකට වඩා එපිට අතීතයේ ඉංග්‍රීසි පාලන කාලය දක්වා ආපසු ගමන් කිරීමට සිදු වෙනවා. මේ කාලයේ ශ්‍රි ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හැදින්වූයේ ගොවි කර්මාන්ත දෙපාර්තමේන්තුව ලෙස වන අතර 1912 දි රාජකීය උද්භීද උද්‍යානයේදී මෙය පිහිටුවනු ලැබුවේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින්.

නිවර්තන කෘෂිකර්ම විද්‍යාල (Tropical school of Agriculture)
+++++++++++++++++++++++++++++++++++++++++++++++++

බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවට හදුන්වාදුන් තේ, කෝපි , පොල්, රබර් ආදී වැවිලි බෝග ලංකාව පුරා ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාවය මත ජනතාවට කෘෂිකර්මය පිළිබද දැනුම ලබාදීමේ අවශ්‍යතාවය දැඩිව මතු වුණා. ඒ සදහා අවශ්‍ය නිලධාරීන් පත් කිරීමේ අරමුණින් නිවර්තන කෘෂිකර්ම විද්‍යාලයක් සදහා මත ඉදිරිපත් වුණා. මේ සදහා මූලික සැලසුම් සකස් කර අවසන් කෙරුනේ 1915 ජූනි මාසයේදී.

1916 ජනවාරි මාසේ 15 වැනිදා කෘෂිකර්ම විද්‍යාලයේ පළමු සිසු කණ්ඩායම ලියාපදිංචි කරමින් ප්‍රථම කෘෂිකර්ම විද්‍යාලය ආරම්භ කලා. මෙය පේරාදෙණිය රාජකීය උද්භීද උද්‍යානය අසල ගොඩනැගිල්ලක ආරම්භ කිරීමට කටයුතු යොදා තිබුණා.

පළමු ශිෂ්‍ය කණ්ඩායම
+++++++++++++++++++++++++++++++++++++++++++++++++

පළමු සිසු කණ්ඩායමට සිසුන් 72 කු ලියාපදිංචි වුණා. ඒ අතරට පසුකලෙක ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යතුමා වූ ඩී.එස්. සේනානායක මහතාද ඇතුලත් වුණා. ඒ වගේම ලංකාවේ ප්‍රථම කෘෂිකර්ම උපදේශකවරුන්ගේ අයෙකු වන ජෝර්ජ් මඩුගල්ල මහතාද ඊට ඇතුලත් වූ බව සදහන් වනවා.
කාර්ය මණ්ඩලය

කෘෂිකර්ම විද්‍යාලයේ කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා (විදුහල්පති) හා කථිකාචාර්යවරුන් සිවු දෙනෙකු හා රෙජිස්ටාර්වරයෙකුගෙන් කාර්ය මණ්ඩලය සමන්විත වුණා.

කෘෂිකර්ම අධ්‍යාපනය කාන්තාවන්ටත්
+++++++++++++++++++++++++++++++++++++++++++++++++

1939 දී කෘෂිකර්ම අධ්‍යාපනය සදහා කාන්තාවන්ටත් අවස්ථාවක් උදාකරමින් ගන්නෝරුවේ වර්තමාන කෘෂි තාක්ෂණ උද්‍යාන ඒකකය (AVC ගොඩනැගිල්ල) පිහිටි ස්ථානයේ ප්‍රථම කාන්තා කෘෂිකර්ම විද්‍යාලය ආරම්භ වුණා. මුල් කාලයේ මෙහි අධ්‍යාපනය ගෘහ ආර්ථික විද්‍යාව මූලික කර ගෙන පවත්වනු ලැබීය.

කුණ්ඩසාලේ වනිතා කෘෂිකර්ම පාසල
+++++++++++++++++++++++++++++++++++++++++++++++++

1921 වර්ෂය වන විට කෘෂිකර්ම විද්‍යාල පැවැත්වුණේ පේරාදෙණිය වර්තමාන පශු වෛද්‍ය රෝහල පිහිටා ඇති ගොඩනැගිල්ලේ. ප්‍රායෝගික පුහුණුව සදහා ශිෂ්‍යයන්ට උද්භිද උද්‍යානය හරහා පැමිණ ඉපැරණි සංගිලි පාලම මතින් ගන්නෝරුව ගොවිපල් භූමියට පැමිණීමට සිදුවුණා.
මේ නිසා 1940දී පේරාදෙණියේ පිහිටි කෘෂිකර්ම විද්‍යාලය ගන්නෝරුවට (වර්තමාන සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයට) ගෙනයනු ලැබුවා.
‍මෙහිදී සිසුවියන් ශ්‍රව්‍ය දෘශ්‍ය මධ්‍යස්ථානයේ පිහිටි කෘෂිකර්ම විද්‍යාලයෙන් පළමු වසරත්, සේවා සංස්කරන අභ්‍යාස ආයතනයේ කෘෂිකර්ම විද්‍යාලයෙන් දෙවන වසරත් අධ්‍යාපනය ලැබුවා. සිසුන් පළමු හා දෙවන වසර දෙකම එවකට සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ පැවැති කෘෂිකර්ම විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා.

මෙසේ කාලයක් ගෙවී ගිය අතර 1948 වසරේ දෙසැම්බර් 11 වනදා අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ අතින් කුණ්ඩසාලයේ වනිතා කෘෂිකර්ම පාසල විවෘත වුණා.මෙහි ආරම්භක සිසුවියන් සංඛ්‍යාව 100ක් වූ බව වාර්තාවල සදහන් වනවා.

කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය
+++++++++++++++++++++++++++++++++++++++++++++++++

වනිතා කෘෂිකර්ම පාසලක් ලෙස ආරම්භ වු කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයට 1958 වසරේ සිට පිරිමි සිසුන්ද බදවා ගැනීමට කටයුතු යොදා ඇති අතර ඉන් පසුව මේ දක්වා මෙහි ගැහැණු හා පිරිමි දෙපිරිසම අධ්‍යාපනය ලබන කෘෂි අධ්‍යාපනයේ තිඹිරි ගෙය බවට පත් වනවා.

කෘෂි ඩිප්ලෝමාවේ විකාශය
+++++++++++++++++++++++++++++++++++++++++++++++++

කෘෂිකර්ම සදහා ඉහළ ඉලක්කයන්ට ලගා වීමට නම් කෘෂිකාර්මීක දැනුම ජනයා අතරට ගෙන යායුතු වුනා. මේ සදහා අවශ්‍ය ව්‍යාප්ති නිළධාරීන් බිහිකිරීම කඩිනම් අවශ්‍යතාවයක් වූ නිසාත් කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයට තනිවම මෙම කාර්ය කල නොහැකි නිසාත් තවත් කෘෂිකර්ම විද්‍යාල වල අවශ්‍යතාවයන් පැනනැගුනා. මේ නිසා 1981 පැල්වෙහෙර කෘෂිකර්ම විද්‍යාලයෙන් ආරම්භවී 1994 වන විට පැල්වෙහෙර, අගුණකොළපැලැස්ස, වව්නියාව, බිබිලේ,ලබුදූව, වාරියපොළ, කරපිංච, අනුරාධපුර ලෙස කෘෂිකර්ම විද්‍යාල 08ක් ආරම්භ වුනා.

NVQ මට්ටම් 5 – 6 ලැබුනා
+++++++++++++++++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලවලින් ලබාදුන් ඩිප්ලෝමා පාඨමාලාවට 2013 දී ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම් 5 – 6 ලැබීම සුවහසක් කෘෂිකර්ම විද්‍යාලීය දූපුතුන්ගේ භාග්‍යයක් වගේම අභිමානයටද හේතු වුනා. මෙසේ NVQ 6 මට්ටමේ ඩිප්ලෝමා පාඨමාලාව හැදැරූ පළවෙනි ශිෂ්‍ය කණ්ඩායමද (2013 – 2015) තමයි පසුගියදා සහතිකපත් ලැබුවේ. අද වන විට NVQ 6 වන මට්ටමේ කෘෂිකර්ම විද්‍යාල 05ක් ලංකාවේ පිහිටවලා තියෙනවා.ඒවා නම්,
01. ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය, කුණ්ඩසාලේ
02. ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය, පැල්වෙහෙර
03. ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය, අගුණකොළපැලැස්ස
04. ශ්‍රී ලංකා කෘෂිකර්ම විදයාලය, වව්නියාව
05. ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය, කරපිංච
ඒ වගේම NVQ 05 වන මට්ටමේ කෘෂිකර්ම විද්‍යාල 06 ක් දැනට ලංකාවේ ආරම්භ කරලා තියනවා.
01. ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය, ලබුදූව
02. ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය, බිබිල
03. ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය, වාරියපොළ
04. ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය, පාලමුනේ
05. ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය, අනුරාධපුර
06. ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය, පරන්තන්
අද අපි සටහන් තැබුවේ ඉතා ඈත ඉතිහාසයකට උරුමකම් කියන කෘෂිකර්ම විද්‍යාලවල, මේ දක්වා පැමිණි ගමනේ පළමු සහ සුවිශේෂී පියසටහන් කීපයක් ගැන තොරතුරුයි. කෘෂිකර්ම විද්‍යාලවල ආරම්භය ඵෙතිහාසික අවශ්‍යතාවක් වූවා වගේම මෙහි අනාගත අභිවෘද්ධිය කියන්නෙත් මාතෘභූමියේම ජයග්‍රහනයක් බව නිසැකයක්. එමෙන්ම, මෙම ජාතික සම්පත ආරක්ෂා කිරීම ශ්‍රී ලංකාවේ අප සැමගේම වගකීමක් ද වනවා.

දත්ත මූලාශ්‍ර
01. ගොවිකම් සගරා
02. දැයට නැණ දුන් කෘෂි ඩිප්ලෝමාවේ විකාශය 1916-2016 (කෘෂිකර්ම විද්‍යාසියවලයීය සියවස සදහා සැකසූ සගරාව)
03. සියවසක අභිමානය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 1912-2012


Reader's opinions

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


Krushi Radio

#1 Agricultural Radio Station in Sri Lanka

Current track
TITLE
ARTIST