කදමල්ල

Written by on May 2, 2018

හැමදාමත් වගේ හැන්දෑ අදුර යාන්තමින් ගම්මැද්දට එබිකං කොරන වෙලාවට එහෙම නැත්තං ඔං රාස්සිගේ අව්ව අහවර වෙන්න කිට්ටුව තමයි ගමේ උන්දල කඩපිළට සේනදු වෙන්නෙ…ටිකිරි කොල්ලා , හිච්චි කෙල්ල, සුදු කෙල්ල විතරක් නෙවෙයි ඕං සිදාදියේ රස්සා කොරන්නය කියලා ගොහිං අයේම ගමට පාත්වෙච්ච එතනා කෙල්ලයි උක්කුං පුතයි …………හත්දෙයියනේ තව ඩිංගිත්තෙන් අමතක වෙනවා නොවැ අපේ කළු කෙල්ලයි සුදු කොල්ලයි , කළු සුදු කියලා නංවාඩම් කිව්වට ඕවා හැදිලා තියෙන්නේ හමේ පාටට නෙවෙයි ඕං….
ඉතින් මුන්දලා කඩපිළට ගොඩ වැදුනම දොඩවන්නේ මේ ලෝකේ දේවල් නෙවෙයි නොවැ. කඩේ මුදලාලි ටත් ඉතිං මුන් ගෙවල් ඔල යනකම් ඉස්පාසුවත් නෑ. මක්කැයි ඉතිං හරියට වෙළදාමක් කරන්න කියලයැ. මුන්ලට තේ කහට වක් කොරන්නයි, බුලත් විඩි අදින්නයි ගියපුහම …….
මේං මේ කාණ්ඩේ කඩපිළට එකතු වෙලා රටේ නැති ඕපාදූප දොඩව දොඩව ඉන්න අතරේ තමයි අපේ කථානායකයා ඔතනට ගොඩ වදින්නේ….නිකංම නෙවෙයි ඕං කදමල්ලත් කරතියාන.
“බුදු අ‍ම්මේ පුතේ උඹලගේ ගෝසාව ආං අර සියඹලා ගහ ළග වංගුවටත් ඇහෙනවා.”
“හත් දෙයියනේ කත් මාමා ළගටම එනකං අපි දැක්කේ නැහැ නොවැ”
ටිකිර් කොල්ලගේ කටින් එහොම පිට වෙනවත් එක්කම කළු කෙල්ල මොකක් හරි කට කැඩිච්ච කතාවක් කියනවා.
“ ටිකිරි පුතේ මේං මේ කද ඇරං තියපංකෝ”
“අනේ ටිකිරි මල්ලියේ ඕං ඔය කද බාන්න උදව් වෙයංකෝ අපේ කත් මාමට”
සුදු කෙල්ල හැමදාමත් වගේ ටිකිරිට ඕක මතක් කරනවා.
මේං මේ වෙලාවට තමයි කඩපිලේ එක්කාසු වෙච්ච උන්ට උන්ලෑ පුරස්න ගැටලු සේරෝම මතකෙට එන්නේ……මොකෝ ඉතිං ඔය ඕනම පුරස්නෙකට කත් මාමා ළග උත්තර තියන බව උන් දන්නව නොවැ.
“අනේ මාමේ අපේ පැපොල් ගහේ මක්කුන්ද සුදු පාට සත්තු ජාතියක් බෝ වෙලා නොවැ”
“ඒක නොවෙන්නම් මාමේ තෙල් කඩේ මුදලාලිගෙන්වත් මුකුත් බේතක් ඉල්ලගන්නය කියලා මේ”
ඕං ‍ඔහොම ඒවට නං ඉතිං උන්දැල මාමගෙන් අහගන්නේ සුද්ධ සිංහල හරුප තමයි….
මොකෝ මාමා හැමවෙලේම කියන්නේ කුරුසි කර්මෙ ගැන දන්න කියන එකෙක්ගෙන් අහගෙන ලෙඩේ ගැන දැනුවත් වෙලා ප්‍රතිකරුම කරපන් කියලා නොවැ. මාම කියන විදිහට නං මේකට ඉන්න හොදම මනුස්සය තමයි පරදේසේ ඉන්න කුරුසි කර්ම උපදේසකතුමා….
ඕං ඔහොම එක එක පුරස්න ඔලට මාම ළගත් තියනව හොද හොද උත්තර. කුරුසි කර්මෙ ගැන තියන අලුත්ම විස්තර , තාක්සනය , එතකොට ඔය පුරස්න ඔලට උත්තර දෙන්න මාම තරං ජගතෙක් නෑ ඕං….
හැමදාම වගේ කරගහං එන කදමල්ලේ තියෙන්නේ ඔවට උත්තර තමයි.
කුරුසි කර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාවේ රුහුණු ඒකකේ ස්තාන භාර සහකාර කුරුසිකර්ම අධ්‍යක්ෂ ලියනගේ නෝනත් කොනකට වෙලා මේ දිහෑව බලං ඉන්නේ පොඩ්ඩ වැරදුනොත් ගහල යන්නේ එතුමියගේ බෙල්ල නිසා වෙන්ටෑ.
ඒ විතරක්යෑ. ඕං ගුවං විදුලි සංස්තාවේ රුහුණු සේවෙ චන්දන අල්විස් මහත්තැන් පොඩ්ඩ බැරිවෙන තැන දුවගෙන ඇවිල්ලා එකපාරකට එක්කෙනෙක් විතරක් දොඩපංය කියන්නෙ ඔය සංස්කොරණ කටයුතු පහසු කොර ගන්න නොවැ.
ඕං බොලං දැන් තමයි හොදම හරිය කියන්න යන්නෙ,
උඹලටත් ඇති නොවැ ඔය කුරුසි කර්මාන්තෙ ගැන නානාපරකාර පුරස්න……
ඕං ඕවා නිරාකරණය කොර ගන්න ඕන්නං උඹලටත් ඇහැකි කත් මාමව මුණ ගැහෙන්න. ඔකට කොරන්න තියෙන්නෙ අගහරුවාදා හවස හයයි හතලිස් පහට සොවදේසීය සේවෙ (91.7, 91.9) ටියුං කොරන එක විතරයි.
ඕං ඉතිං තෙරුවන් සරණින් අපිට යන්න අවසරයි….මේ විස්තරේ දාන්න කලියෙං අවසර ගන්න බැරි උනාට තරහ අවසර ඉසුරු ලංකා රණවීර මහත්තයෝ.තමුන්නැහැටත් කියන්න බොහොම දේවල් ඇති නොවැ. ඒවා ඔය පහළින් කොමෙන්ට් කරගෙන ගියාට අපේ අමනාපයක් නෑ ඕං. මේක කියවන උඹලටත් කියන්න තියෙන්නෙ කදමල්ල ගැන අදහසක් පහළින් කොමෙන්ට් කරන්න කියල තමයි.

Reader's opinions

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


Krushi Radio

#1 Agricultural Radio Station in Sri Lanka

Current track
TITLE
ARTIST