ගෙවත්තට ගුණාත්මක පලතුරු පැළයක්

Written by on June 13, 2018

අතීතයේ මිනිසා පරි‍භෝජනය කළ ආහාර කාණ්ඩ අතර පළතුරුවලට හිමිවී තිබුනේ ප්‍රධාන තැනක්.නමුත් මානව  සමාජායේ ඇතිවූ සංකීර්ණතාවයත් සමග පළතුරු කෙරෙහි දක්වන ලද අවධානය අඩුවු බවක් තමයි පෙ‍ෙනන්නට තිබෙන්නේ. එදිනෙදා කාර්ය බහුල වටපිටාවක කටයුතු  කරන අතරතුරදී තම ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම සදහා කඩිනම් ආහාර නැත්නම් කෙටි ආහාර ( Short eats) පරිභොජනය කිරීමට නැඹුරු වීමත් පළතුරු පරි‍භෝජනය අඩු කිරීමට හේතුවක් වුනා. කෙසේ වුවත් වැරදි ආහාර පරි‍භෝජන රටාව හේතුකොටගෙන ජනතාව බොහෝ රෝගාබාධවලට ලක්වන බව අද අප පිළිගන්නා සත්‍යයක්. විශේෂයෙන් බෝනොවන රෝග බොහෝමයක් ඇති වීම සදහා වැරදි ආහාර පුරුදු හේතුවෙලා තියෙනවා. පිළිකා වැනි රෝග වලක්වාලීමට  සමත් ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුතු පලතුරු පරිභොජනය කිරීම කෙරෙහි අද වැඩි අවධානයක් යොමු වී ඇත්තේ මේ නිසයි. ලෝක සෞඛ්‍ය සංවිධාන දත්තයන්ට අනුව අපේ රටේ පුද්ගලයෙක් දිනකට පරිභෝජනය කළයුතු පළතුරු ප්‍රමාණය ග්රෑම් 200ක්. නිර්දේශය මෙසේ වුවත් වර්තමානයේ දේශීය පළතුරු පරිභෝජනය පිළිබද සෑහීමකට පත්විය නොහැකියි. මේ නිසාම රට තුල පළතුරු පරිභෝජනය වැඩිකිරීමට මෙන්ම දේශීය පළතුරු නිෂ්පාදනය ඉහළ නංවාලීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර රැසක් හදුන්වාදී තියෙනවා.

තමාගේ නිවසට හිමි සීමා සහිත ඉඩ කඩ තුල ගුණාත්මක පලතුරු පැළ 2-3ක් සිටුවා ගැනීම දෛනිකව තමාගේ පරිභෝජනයට පලතුරක් එක්කරගැනීමට මගපාදන අතර එය ගෙවත්තේ සුන්දරත්වය අගය වැඩිකර ගැනීමටත් හේතුවක් වේවි.

මනාව පුහුණු කරන ලද ශාක සහිත වරකා වගාවක්
(FRDI – හොරන)

ගුණාත්මක පලතුරු පැළයක්

ගෙවතු පරිසරයකට හිමිවන්නේ සීමාසහිත ඉඩකඉඩක්. මේ නිසාම ස්වාභාවික පරිසරයේ අතුපතර විහිදෙමින් අවකාශයේ වැඩි ඉඩක් අත්පත් කරගන්නා බීජවලින් හට ගන්නා ශාකයක් වෙනුවට විශ්වාසවන්ත ගුණාත්මක බද්ධ පලතුරු පැළයක් ගෙවත්තට එක්කර ගැනීම ඉතාමත් ප්‍රතිඵල දායක වනු ඇත. මෙවැනි ගුණාත්මක පැලයක් මිලදී ගැනීමේදී එම පලතුරු වර්ගය හා ප්‍රභේදය ඔබ වාසය කරන ප්‍රදේශයට උචිතද යන්න පිළිබදව මූලික අවධානයක් යොමු විය යුතු අතර ලෙඩ රෝගවලින් හා කෘමි හානිවලින් තොර පැළයක් විය යුතුය. හොද බද්ධ පැළයක කද හා පත්‍ර මනා වර්ධන තත්වයක තිබිය යුතුය. බද්ධ සන්ධිය හොදින් සවිවී තිබීම බද්ධ සන්ධියට පහලින් රිකිලි නොතිබීම වැදගත්ය.

නිවාරදි පලතුරු පැළයක් සිටුවන්නේ කෙසේද?

මේ සදහා අඩි 2 x 2 x 2 ප්‍රමාණයේ වලක් අවශ්‍යයි. වල කැපීමේදී මතුපිට පස හා යටි පස් වෙන වෙනම ගොඩගසා ගැනීම කළ යුතුය. පැළයට අදාල පාංශු පරිසරයේ තෙතමනය ආරක්ෂා කරගැනීම සදහා පොල් ලෙලි තට්ටුවක් පතුලේ අතුරා මතුපිට පස් සමග ගොම පොහොර හා කොම්පෝස්ට් 1:1 අනුපාතයට හොදින් මිශ්‍ර කර වලේ මතුපිට ගොඩක් ආකාරයට සිටින සේ පුරවා ගැනීම කළ යුතුයි. මෙලෙස සකස් කරගත් වලේ පස් තැන්පත් වෙන්නට ඉඩ හැර සතියකට පසු පැළය සිටුවිම සුදුසු වේ. පැළය සිටුවීමට දින 2 කට කලින් මූලික පොහොර ලෙස රසායනික පොහොර යෙදිය හැකිනම් එය වඩාත් ප්‍රතිඵලදායක වේ.

 

එක් වලකට නිර්දේශිත රසායිනික පොහොර ප්‍රමාණය මෙහෙමයි.

යූරියා                                                        ග්රෑම් 115

සාන්ද්‍ර සුපර් පොස්පේට්                     ග්රෑම් 230

මියුරින් ඔෆ් පොටෑෂ්                           ග්රෑම් 105

මුල්වලට හානි නොවනසේ පැළය බදුනෙන් ඉවත්කරගෙන වල මධ්‍යයේ සිටින සේ පැළය සිටුවන්න. පැළය ආසන්නයේ ආධාරකයක් සිටුවලා පැළය ඊට ගැටගසා තැබීමෙන් සුළං මගින් මුල්වලට වියහැකි හානි වලක්වා ගැනීමට හැකිවනවා සේම, ශාකය සෘජුව වැඩීමටත් ඉන් ඉඩක් ලැබෙනවා.

පළතුරු පැළය පුහුණු කිරීම

බද්ධ පලතුරු පැළය අඩි 3ක් පමණ තනි කදක් ලෙස වැඩෙන්නට ඉඩ හැරිය යුතුයි. ඊට පස්සේ පලතුරු ශාකයට සමබර සැකිල්ලක් ලැබෙන පරිදි විවිධ දිශාවලට යා වුණු ප්‍රධාන අතු 3ක් වැඩීමට සැලැස්විය යුතුයි. වැඩෙන ශාකය වරින් වර කප්පාදු කිරීමේදී ශාකය ඇතුලට හොදින් හිරු එළිය වැටීමට සැලැස්වීම මූලික අරමුණක්. ශාකයේ අස්වැන්න නෙලීමෙන් පසු ඉතිරි වන අනවශ්‍ය කොටස්, දිරාගිය අතු රිකිලි, දිය රිකිලි, රෝගි හා අනවශ්‍ය කොටස් කපා ඉවත් කිරීම සිදු කෙරෙනවා. ගසට හානි ඇති නොවන පරිද්දෙන් සුදුසු ආයුධ භාවිතා කරමින් අතු කදට සවිවන ස්ථානයට ආසන්නව කප්පාදු කිරීමට වග බලා ගත යුතුය.  අත්ත කැපුවාට පසු කැපුම් පෘෂ්ඨයේ තීන්ත දිලීර නාෂක අඩංගු ආලේපයක් හෝ කණ්ඩාසන් ආලේප කිරීම මඟින් කද ආරක්ෂා කර ගත යුතුයි.

නිවැරදිව ශාක කප්පාදු කිරීමෙන්

  • ශාකයට නියම හැඩයක් ලැබෙන අතර එහි නඩත්තු කටයුතු පහසු වෙනවා.
  • මල් පිපීම මෙන්ම ඵල හට ගැනීම උත්තේජනයට කප්පාදුව වැදගත් වෙනවා.
ගෙවතු අලංකරණයට පළතුරු ශාක
  • ශාකය නිරෝගීව පවත්වා ගැනීමටත් එය වැදගත් වෙනවා.

සාමාන්‍යයයෙන් භූමි අලංකරණය ගැන කථා කරන විට අපේ මූලික අවධානය යොමු වන්නේ විසිතුරු පැළෑටි හා මල් වර්ග දෙසටයි. එත් ආහාර බෝග යොදා ගනිමින් භූමි අලංකරණය කිරීම අද කෘෂිකර්මයේ ඇති වී තිබෙන නව ප්‍රවණතාවයක්. මල් විසිතුරු පැල හා එළවලු වර්ග පලා සමඟ පිළිවෙළකට නඩත්තු කල පළතුරු ගස් කීපයකුත් එක් කල හැකි නම් එය ගෙවත්තේ සුන්දරත්වයට වටිනාකමට හේතුවෙනවා.

බදුන්ගත ඌන භාවිත පලතුරු ශාක

අපි බහුලව කතා කරන අඹ, කෙසෙල්, පැපොල්, රඹුටන් වැනි බෝග වලට අමතරව ස්වභාවික පරිසරයේ වැඩෙන ජනතාව අතර ක්‍රමවත්ව පරිභෝජනයට ලක් නොවූ එහෙත් පෝෂණ ගුණයෙන් හා ඹෟෂධීය ගුණයෙන් ඉහළ දේශීය පළතුරු අපි ඌණභාවිත පළතුරු ලෙස හදුන්වනවා. විවිධ දේශගුණ තත්ත්වයන්ට ඔරොත්තු දෙන වසවිසෙන් තොර මෙම පළතුරු රසයෙන් ගුණයෙන් ඉහළයි. දිවුල්, අනෝදා, සියඹලා, වෙරලු, උගුරැස්ස, මාදං, කරවලකැබිල්ල, නෙල්ලි, නමිනං, සැපදිල්ලා මේවාට නිදසුන් කිහිපයක්. ස්වභාවික පරිසරයේ අතුපතර විහිදුවා වැඩෙන මෙම ශාක සීමා සහිත ඉඩකඩකින් යුතු නාගරික හෝ අර්ධ නාගරික ගෙවත්තක හුරුබුහුටි ශාක ලෙස වගා කල හැකි පරිදි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රෝපණ ද්‍රව්‍ය හදුන්වාදී තිබෙනවා. අතු බැදීමේ තාක්ෂණයෙන් හෝ බද්ධ පැළ ලෙස ලබා ගත හැකි මෙම පළතුරු පැළ සිමෙන්ති, ප්ලාස්ටික් වැනි බදුනක වුවත් හොදින් වැඩී ආකර්ෂණීය ලෙස ඵල දරනවා. ඉතින් ඔබත් ඔබේ ගෙවත්තට පළතුරු පැළයක් සිටු වීමෙන් නව වටිනාකමක් එකතු කර ගන්නා ලෙස ආරාධනා කරමු.

අජිත් ගුණසේකර

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ

ගුවන් විදුලි ගොවි සේවාව,

කදුරට ඒකකය.


Reader's opinions

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


Krushi Radio

#1 Agricultural Radio Station in Sri Lanka

Current track
TITLE
ARTIST