අඩු ඉඩකඩක ඉදිවන නාගරික ගෙවත්ත

Written by on June 13, 2018

පවුලේ එදිනෙදා අවශ්‍යතා පිරිමසා ගැනීම සදහා සීමිත සම්පත් උපයෝයී කර ගනිමින් ‍ ප්‍රයෝජනවත්ව හා අලංකාරව පවත්වාගෙන යනු ලබන නිවස අවට පිහිටි බිම් කඩ ‘‘ ගෙවත්ත” නමින් හැදින්විය හැක. තවත් ආකාරයකින් කළ හැකි අර්ථදැක්වීමක් වනුයේ නිවසට යාබදව පවුලේ විවිධ වූ සාමාජීය, ‍භෞතික හා ආර්ථික කාර්යන්ට උරදෙන දෛනික ජීවන වට පිටාව ලෙසය.

මනාව පවත්වාගෙන යන ගෙවත්ත නිසා නිවස අවට පිරිසිදු පරිසරයක් ඇතිවේ. ඵලදායී බිම්කඩක් නිර්මාණය වේ. දෛනික ආහාර වේලට පෝෂ්‍යදායී ආහාර එක්වේ. නිෂ්පාදනය වැඩිනම් අමතර ආදායමක් ලබාගත හැක. සුන්දර ගෙවත්තකින් මානසික සුවයක් ලැබේ. පවුලේ සාමාජිකයන්ට ගෙවත්තේ කටයුතු වලට සම්බන්ධ වීමෙන් සිය විවේක කාලය ප්‍රයෝජනයට ගෙවා දැමිය හැක. සැබැවින්ම විවිධ බෝග සංකලනයෙන් යුතු ගෙවත්ත දැනුම හුරුව ලබාදෙන පාසැලක් බදුය.

බෝග වගාවට අවශ්‍ය අවකාශය, කාලය, ශ්‍රමය යන සම්පත් ගෙවතු කළමනාකරණයේදී සීමාකාරී  සාධක ලෙස බලපායි. අර්ධ නාගරික හා නාගරික පරිසරයක ගෙවත්තක් ඉදිකිරීමට භූමියේ ලබාගත හැකි ඉඩකඩ ඉතා සීමිතය. එබැවින් නව කෘෂිකර්ම තාක්ෂණය මගින් හදුන්වා දී ඇති සරල වගා උපක්‍රම මගින් සිරස් අවකාශයේ ඉඩ ප්‍රයෝජනයට ගෙන බෝග වගාවේ යෙදීමට අවධානය යොමුවී ඇත. මෙවැනි තාක්ෂණික අනුවර්තන කීපයක් පිලිබද තොරතුරු විමසා බලමු.

  • වගා කුළුණ

වගා කුළුණක් සාදාගැනීම සදහා කිලෝග්‍රෑම් 50ක ප්‍රමාණයේ පොහොර බෑග් දෙකක්, අඩි 7ක් පමණ දිග උණ කොටසක්, වැලි තාච්චි 4ක් පමණ, ගඩොල් කැබිලි, ගල් කැබලි, බොරළු ආදිය තාච්චි 3ක් පමණ හා මතුපිට පස් හා දිරූ ගොම  පොහොර හෝ කොම්පෝස්ට් පොහොර අවශ්‍ය වේ. වගාමල්ල පිළියෙල කිරීමේ දී එක් පොලිසැක් මල්ලක අඩියේ මැහුම් ගලවා අනෙක් මල්ලේ කටට තබා ලොකු මල්ලක් සකස් කරන සේ මසන්න.

උණ කොටසේ පතුලේ ගැට්ට ඉතිරි කර උඩ ගැට සියල්ල අලවංගුවක් දමා කඩන්න. නියනක් ආදාරයෙන් උණ බටයේ බිත්තිය තැනින් තැන සිදුරු කරන්න. උණ බටයේ එක් පුරුකක් පමණක් යටවනසේ පොළොවේ සිටුවා ලොකු පොලිසැක් මල්ල මැදින් සිදුරු කර සිටුවන ලද උණ බටය තුළින් පහලට ගන්න. පොළොවේ පස් සවල්පයක් ඉවත්කර පොලිසැක් මල්ල තබා මල්ලේ අඩියට වැලි දමන්න. ඒමත ගඩොල් හෝ බොරළු තට්ටුවක් දමා ඉන් පසු මල්ල පිරෙන තෙක් මතුපිට පස් හා ගොම හෝ කොම්පෝස්ට් පොහොර සම ප්‍රමාණයෙන් යුක්ත මිශ්‍රණයෙන් මල්ල පුරවන්න. උණ බම්බුව පස් පුරවන ලද මල්ලට වඩා මදක් ඉහලින් තිබිය යුතුයි. පසුව මල්ලේ පිටත සිදුරුකරමින් විවිධ පළා වර්ග වලට අයත් පැළ හෝ දාවක කොටස් සිටුවිය හැක. එසේම වගා කුළුණ උපයෝගීකර ගනිමින් නිවිති, ස්ට්‍රෝබෙරි, තක්කාලි වැනි පැළද සිටුවිය හැක. මාධ්‍ය මතුපිටද බෝග ස්ථාපනය කළ හැක. මෙම වගා කුළුනෙහි මාධ්‍ය ඇසුරු කරගනිමින් වැඩෙන බෝග සදහා තෙතමනය ලබා දෙන්නේ දිනපතා අවශ්‍යතාවය මත  උණබම්බුවේ ඉහල කෙලවරින් ජලය සම්පාදනය කිරීමෙනි. මෙම ජලය සමග රසායනික පොහොර හෝ දියර පොහොර යෙදිය හැක.

මෙම වගා කුළුණෙහි ධාරණ ශක්තිය වැඩිකර ගැනීම සදහා සිරස් මල්ල වටා කම්බි දැලක් යොදා ගත හැක. උණ බම්බුව වෙනුවට පී.වී.සී. නලයක් යොදා ගැනීමද යෝග්‍යය වේ.

  • වගා මළු

භූමියේ ඉඩකඩ සීමා සහිත වූ විට මැටි බදුන්, ප්ලාස්ටික් පෝච්චි, සිමෙන්ති පෝච්චි ඉවතලන හාල් මළු යන ආදිය බෝග වගා කිරීම සදහා යොදා ගනී. කෙසේ වූවද බෝග සිටුවීම සදහා ම නිෂ්පාදනය කළ වගා මළු අද වෙළදපොලේ මිළදී ගත හැක. උසින් අගල් 15ක් හා පහලින් අගල් 10ක් පමණ වන ඇතුලත කළු හා මතුපිට සුදු පැහැති පොලිතින් මළු වගා මළු ලෙස ගෙවතුවගාවේදී ජනප්‍රිය වී ඇත. මේ සදහා වගා මාධ්‍ය ලෙස සම ප්‍රමාණයේ මිශ්‍ර කළ කොමිපෝස්ට් පොහොර හා මතුපිට පස් යොදා ගත හැකි අතර පස් සමග කොහුබත් මිශ්‍රකර ගතහොත් එය වගා මල්ලේ  පරිහරණයට පහසුවක් වන අතර තෙතමනය රදා ගැනීමට උපකාරී වේ.

තවානෙන් ගලවා ගලන්නා වම්බටු, මිරිස්, තක්කාලි වැනි සොලනේසි කුලයේ බෝග සදහා වගා මළු ඉතාමත් යෝග්‍ය වන අතර එම වර්ගයේ පැළ මල්ලක 2ක බැගින් සිටුවිය හැකි වේ. බීට්, කැරට්, නෝකෝල් හා ලීක්ස් වැනි බෝග පැළ තුන හතරක් වුවද මල්ලක සිටුවිය හැකි වන අතර ගෝවා පැළ එක්ක මල්ලක සිටුවීම සුදුසුය. ජලය භාවිතය හා පොහොර භාවිතය වගාමළු ඇසුරින් ගෙවතු පවත්වාගෙන යාමේදී ඉතා කාර්යක්ෂමව සිදුවේ. නිවස ආශ්‍රිතව ආලෝකය ලැබෙන ප්‍රමාණය අනුව වගා මල්ල තබන ස්ථානය වෙනස්තළ හැක. භූමියෙන් බැහැරව සදළුතලය මත හෝ කොන්ක්‍රීට් පියස්ස මත වගා කටයුතු කිරීමෙිදී වගා මළු කාර්යක්ෂමව භාවිතා කළ හැක. වගා මල්ලක පුරවන ලද මාධ්‍යයයෙන් ලබාදෙන පෝෂණයට අමතරව  බෝග වර්ධනයේදී ඇල්බට් ද්‍රාවනය වැනි දියර පොහොර භාවිතා කිරීමෙන් සරුසාර වගාවක් පවතවාගෙන යා හැක. වරක් භාවිතා කළ වගා මළු නැවත ප්‍රයෝජනයට ගතහැකි වීමත් වාසියකි.

  • නිර්පාංශු වගා පෙට්ටි

පස රහිත වගාව හෙවත් හයිඩ්‍රෝෆොනික්ස් නිර්පාංශු වගාව ලෙස හදුන්වයි. ගෙවතු වගාවේදී සරල තාක්ෂණය උපයෝගීකර ගනිමින් හයිඩ්‍රෝෆොනික්ස් ඒකක, වගා පෙට්ටි ලෙස භාවිතා කළ හැක. මේ සදහා හොදින් පියන වැසිය හැකි විවිධ ප්‍රමාණයේ රෙජිෆෝම් පෙට්ටි වෙළෙදපොලෙන් මිලදී ගත හැක. මෙම පෙට්ටියක ගැඹුර අවම වශයෙන් අඩි එක්කවත් වීම සුදුසුය. මුලින්ම සපයා ගත්  රෙජිෆෝම් පෙට්ටියේ ඇතුලත බිත්තිය කළු පොලිතින් වලින් හොදින් ආවරණය කළ යුතුය. පොලිතීනයේ ඉහල දාරය පෙට්ටියෙන් පිටතට නමා ගම්ටේප් එකකින් පෙට්ටිය තදින් ඇලවිය යුතුය. පොලිතීනය සහිත ඇතුලත ඉඩ පරිමාව ඇල්බට් ද්‍රාවනයෙන් පුරවනු ලැබේ. (දියර පොහොරක් ලෙසද භාවිතා කරන ඇල්බට් ද්‍රාවනය නිර්දේශිත පරිදි නියමිත ජල පරිමාවක දිය කර ගත යුතුය.) පැළ සිටුවීම සදහා යෝගට් කෝප්පයකට වඩා ගැඹුරින් වැඩි සිසිල් පැන් පානය සදහා භාවිතා කරන කෝප්ප යෙදා ගනී. කෝප්ප පහලින් දික් අතට සිදුරු කීපයක් කපන අතර පසුව හයිඩ්‍රෝෆොනික්ස් සදහා භාවිතා කරන දැල් වලින් කෝප්ප පතුල ආවරණය කරයි. මෙම කෝප්ප කොහු බත් හා අඩක් පුළුස්සන ලද දහයියා මිශ්‍රණයෙන් පුරවා ගත හැකි අතර කෝප්පයෙන් 2/3 ක් පහළට යන සේ සෘජිෆෝම් පෙට්ටියේ සිදුරු කළ කෝප්ප සවිකළ යුතුය. මෙම බදුන් සහිත පියන වැසු පසු කෝප්පය යන්තම් ගිලෙන සේ පෙට්ටිය තුළ ද්‍රාවණය පුරවා ගත යුතුය.

පෙට්ටියේ ද්‍රාවණ මට්ටම වරින් වර පරික්ෂාකරමින් ඇල්බට් ද්‍රාවණය නියමිත සාන්ද්‍රණයෙන් පිරවිය යුතුය. ගෘහශ්‍රිතව හිරුඑළිය ලැබෙන ස්ථානවල (ජනෙල් කවුළු ආශ්‍රිතව, ඕපන් වැරැන්ඩා තුළ ) මෙම වගා පෙට්ටි ස්ථාපිත කිරීමෙන් නිවසට අලංකාරයක්ද ලබා දෙයි.බොහෝවිට පළා වර්ග සළාද වැනි බෝග මෙම ක්‍රමයට පහසුවෙන් වගා කළ හැක.

  • වගා රාක්ක

A අකුරේ හැඩයට පිහිටන පරිදි ඉහලින් සරනේරු වලින් සම්බන්ධකළ හැකි වන සේ හේත්තුකොට පිහිටුවාගත් රාමු දෙකක් මත හරස් අතට පිහිළි පද්ධතියක් සවි කොට වගා රාක්ක සාදා ගත හැක. දැව රාමු මත උණ බම්බු පිහිළි හෝ වඩාත් කල්පවතින සේ G.I බට යොදා නිමවු රාමු මත පී.වී.සී. පිහිළි මේ සදහා යොදාගනී. කොහුබත් හා කොම්පෝස්ට් පොහොර මිශ්‍ර කොට සෑදු මාධ්‍යයෙන් රාක්ක (පිහිළි ) පුරවා ගනු ලබයි. රාක්ක දෙකෙලවර ආවරණය කොට ඇත. මාධ්‍යට යොදන ජලයේ වැඩිමනත් කොටස බැස යාමට පිහිළි පහළින් කුඩා සිදුරු සකස් කරයි. වගා නඩත්තුව හා අස්වනු නෙළීම පහසුවනු පිණිස වගා රාක්කයක උස අඩි 4 ½ පමණ වීම සුදුසු වන අතර මෙම ක්‍රමයට සිරස් අවකාශයේ ඉඩකඩ මනාව උපයෝගී කොට ගෙන ගෙවත්තට අලංකාරයක්ද ගෙනදෙමින් වගාවක් පවත්වාගෙන යා හැක. රාක්ක දෙකක් අතර පරතරය අඩියක් වීම සුදුසුය. විශේෂයෙන්ම කොළ එළවළු වගා කිරීම සදහා මෙම ක්‍රමය යොදාගත හැකි වන අතර මිරිස් වැනි බෝගද රාක්ක අතර පරතරය වැඩිකර ගන්මින් වගා කළ හැක.

  • වගා බිත්ති

නාගරික නිවස ආශ්‍රිතව පවතින කොන්ක්‍රීට් හෝ ගඩොල්  බිත්ති ඉදිකරන මෙහොතේ  ඒවාට සම්බන්ධව පිටතට සවිවී තිබෙන “L” ආකාර යකඩ ආධාරක නිර්මාණය කිරීමෙන් වගා බදුන් රැදවීම සදහා ආධාරකයක් පිළියෙල කර ගත හැක. හිස්ව පවතින සිරස් බිත්තියේ ඉඩකඩ මෙහිදී ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනේ.

  • වගා වැට

ඉඩමක මායිම සලකුණු කරන වැට සදහා භාවිතා කරන බෝග කප්පාදු කොට කාබනික ද්‍රව්‍ය පසට එක්කිරීමත් දැව අවශ්‍යතාවය සපුරා ගැනීමත් වෙනත් බෝගයක් සදහා ආධාරක සපයා ගැනීමත් සිදුකරයි. මෙයට අමතරව වැටකට හිමි සිරස් ඉඩකඩ වෙනත් ප්‍රයෝජනවත් බෝගයක් සදහා උපයෝගී කර ගත හැක. වැටක් ඔස්සේ පැෂන් ෆෘට් වැලක් සාර්ථකව පවත්වාගෙන යා හැක. එසේම බොහෝ ඖෂධ වර්ග වැට ආධාර කොට ගෙව වගා කළ හැක.

නාගරික ගෙවතු කරනයේදී පදනම් කර ගන්නා මූලික කරුණු ලෙස පවුලේ පෝෂණය, පවුලේ ශ්‍රමය හා භූමි අලංකරණය ප්‍රමුඛ වේ. ග්‍රාමීය පරිසරයේ දක්නට ලැබෙන ස්වාභාවික තත්වයන්ට වඩා නාගරික නිවාස ආශ්‍රිතව ඇත්තේ නිර්මිත පරිසරයක් බැවින් භූමි අලංකරණයට නාගරික ගෙවත්තේදී ප්‍රධාන තැනක් හිමිවේ. මෙහිදී මල් හා විසිතුරු පැළෑටි සමග ආහාරමය බෝගද සංකළණය කරමින් සිදු කනරන භූමි අලංකරණය ( Edible Landscaping) අද නව ප්‍රවණතාවයක් වී ඇත.

අජිත් ගුණසේකර
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ,
ගුවන් විදුලි ගොවි සේවාව – කදුරට ඒකකය


Reader's opinions

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


Krushi Radio

#1 Agricultural Radio Station in Sri Lanka

Current track
TITLE
ARTIST